මානව සන්නිවේදනය මිනිසා මෙලොව බිහි වීමට මොහොතකට පෙර ආරම්භ වූවා යැයි ප්‍රකට මතයකි. මානව සන්නිවේදය මානවයාගේ ආරම්භ තෙක් දිවයන ක්‍රියාවලියක් බව එයින් පසක් වන්නේ ය. එනමුත් මානව සන්නිවේදනය තරම් දිගු ඉතිහාසයක් සන්නිවේදන අධ්‍යයනය විෂයට හිමි නොවේ. සන්නිවේදන අධ්‍යයනය විෂය ශාස්ත්‍රීය විෂය ශික්ෂණයක් බවට පත් වන්නේ මෑත කාලයේ එනම්, 20 වෙනි සියවසේ මුල් භාගයේ දී ය. එහිලා බොහෝ සන්නිවේදන ප්‍රාමාණිකයන්ගේ දායකත්වය හිමි වූයේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ය. වර්ෂ 1907 අගෝස්තු මස 05 වන දා ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මැරියටාහි දී ශ්රාම්ස්බර්ග් පරපුරට අයත් ව විල්බර් ශ්රාම් උපත ලබන්නේ ය. කුඩා කල දී ශ්‍රාම්ගේ උගුරේ වූ සෙම් ගෙඩි ඉවත් කිරීමේ සැත්කමක් වැරදි ආකාරයට සිදු කිරීම නිසා ඔහු වචන කතා කිරීමේ දුබලතාවකින් පෙළුෑණි. පවුලේ එක ම පිරිමි දරුවා ශ්රාම් දේශපාලනය සහ නීතිය යන ක්ෂේත්රයන්හි ප්‍රවීණයෙක් වීම ශ්‍රාම්ගේ පියාගේ සිහිනය විය. නමුත් ශ්‍රාම්ගේ කථන දුර්වලතාව නිසා පියා විසින් සිය සිහිනය අමතක කර දමන ලදි. කිනම් දුර්වලතා මධ්‍යයේ වුව ද ශ්රාම් තමන්ගේ පළමු උපාධිය 1928 දී ලබා ගන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ ව වැඩි ම ලකුණු වාර්තා කරමිනි.
කථන චිකිස්තන ක්‍රමවේදයන් හරහා තමන්ගේ කථන දෝෂය තරමක් දුරට අවම කර ගැනීමට ශ්රාම් සමත් වූ අතර සන්නිවේදන විෂයට ප්රවිශ්ට වන විට ද එම කථන දුර්වලතාව පැවති බව දැක්වෙයි. කථන දුර්වලතාව කෙසේ වුව ද ශ්රාම් තමන්ගේ වෘත්තිය වශයෙන් තෝරා ගන්නේ ගුරු වෘත්තියයි. කථනයේ දුර්වලතාවක් ශ්රාම් තුළ පැවතීම හේතුවෙන් ශ්රාම් විසින් බොහෝ විට තමන්ගේ සන්නිවේදන කාර්ය සිදු කිරීමට යොදා ගත් සන්නිවේදන ස්වරූපය වන්නේ ලිඛිත සන්නිවේදනය යි. විවිධ ආකාරයේ ලේඛන කාර්යන්හි නිරත වෙමින් ශ්රාම් පුවත්පත් කලාව තුළ තමන්ගේ නාමය ස්ථාපනය කිරීමට සමත් විය.
විල්බර් ශ්‍රාම්ගේ විශ්වවිද්‍යාල දිවිය පිළිබඳ ව අධ්‍යයනය කරන විට ප්‍රධාන විශ්වවිද්‍යාල ත්‍රිත්වයක් තුළ ඔහු දක්වන ලද ප්‍රතිභාව කැපී පෙනෙයි. ඒ ඇමරිකානු විශ්වවිද්‍යාල වන අයෝවා සරසවිය, ඉලිනෝයිස් සරසවිය සහ ස්ටැන්ෆර්ඩ් සරසරවිය යි. එසේම සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ අග්‍රගණයේ පර්යේෂණ රැසක් ක්‍රියාවට නැංවී සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්රය පෝෂණය වූයේ මෙම විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන ය. අයෝවා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ සහකාර මහාචාර්යවරයෙකු වශයෙන් ශ්රාම් සේවයට බැඳුණේ අයෝවා විශ්වවිද්‍යාලයෙන් ම තමන්ගේ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරු ව ය. 1943 සිට 1947 දක්වා කාලය තුළ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ සේවය කිරීමෙන් අනතුරු ව ශ්රාම් අයෝවාවට සමු දී ඉලිනෝයිස් විශ්වවිද්‍යාලය ලබා ගමන් කරයි. ඒ අයෝවා සරසවියේ දී ඔහු තුළ හටගත් බීජය ඉලිනෝයිස් සරසවි බිමේ රෝපණය කිරීමට අවශ්‍ය පස නිර්මාණය වී තිබූ බැවිනි. එනම්, අයෝවා සරසවියේ සිටින සමයේ දී සන්නිවේදන අධ්‍යයනය වෙනුවෙන් වෙන ම අංශයක් බිහි කිරීමට අදාළ සැලසුම විශ්වවිද්‍යාල පරිපාලනයට ලබා දුන්න ද එහි මූල්‍යමය වටිනාකම ඉහළ වූ බැවින් අයෝවා සරසවිය තුළ දී ශ්‍රාම්ට තමන්ගේ සිහිනය සැබෑවක් කර ගැනීමට නොහැකි විය. ඒ අනුව ජෝර්ජ් ස්ටොඩාර්ඩ්ගේ ආරාධනය මත ඉලිනෝයිස් විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන ශ්රාම් සන්නිවේදනය වෙනුවෙන් වෙන ම අධ්‍යයනය අංශයක් ආරම්භ කරන ලදි. පසුව ඉලිනෝයිස් විශ්වවිද්‍යාලයේ බොහෝ ශාස්ත්‍රීය පර්යේෂණ ගණනාවක් සිදු කිරීමෙන් අනතුරු ව සිය අවසාන සරසවි අත්දැකීම වූ ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙත ශ්රාම් පැමිණෙයි. 1973 දී ශ්රාම් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සමුගන්නේ එම විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් සපයමිනි.
ශ්‍රාම්ගේ පර්යේෂණ ග්රන්ථ අතුරින් ළමයින් සඳහා සිදු කරන Television in the Lives of our Childern පර්යේෂණ ග්‍රන්ථය මගින් රූපවාහිනි ළමයින්ට කුමක් කරන්නේ ද? යන්නට වඩා ළමයින් රූපවාහිනි සමඟ කුමක් කරන්නේ ද? යන පැනයට පර්යේෂණාත්මක ව පිළිතුරු සපයා ඇත. සන්නිවේදන අධ්‍යයනයේ සාර්වරයා වශයෙන් හැඳින්වෙන විල්බර් ශ්රාම් නිරන්තරයෙන් ම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වූ සුබුද්ධිමතෙක් විය.(1907.08.05 - 1987.12.27)
❤️❤️
ReplyDelete