Sunday, 30 November 2025

ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දීම

 


මානව සන්නිවේදනය මිනිසාගේ ආරම්භයත් තෙක් දිවෙන ක්‍රියාවලියක් වූවත්, එය න්‍යායාත්මක විෂයක් වශයෙන් අධ්‍යනය කිරීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී පමණය. වර්ෂ 1947 දී  ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය  මුල් කර ගනිමින් සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් පාඨමාලා ආරම්භ කෙරිණි. තවද සන්නිවේදන අධ්‍යනය ආයතන ගත කිරීමට පුරෝගාමීත්වය ලබා දුන් පුද්ගලයා වශයෙන් සන්නිවේදන ඉතිහාසය තුළ හමුවන්නේ මහාචාර්ය විල්බ ශ්‍රාම්ය. පළමු සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් මෙන්ම කාර්මික විප්ලවය හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය විය. එසේම සන්නිවේදන අධ්‍යනයේ න්‍යායාත්මක පාර්ෂවය පෝෂණය කිරීම සඳහා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මෙන්ම යුරෝපීය විද්වතුන් රාශියගේ සහයෝගය මුල්කාලීනව ඊට හිමි විය. 

තවද සන්නිවේදන අධ්‍යයන ශික්ෂණය කෙරෙහි යොමුවීමට බලපෑ තවත් හේතුවක් බවට පත් වූයේ යුනෙස්කෝ  විසින් 1982 වසරේදී හඳුන්වා දුන් ගෲන්වල්ට්  ප්‍රකාශනයි. මෙම ගෘෘන්වල්ට් ප්‍රකාශනය  යෝජනා කරන ලද්දේ පාසල්  ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වාත්, වැඩිහිටි අධ්‍යාපනයෙහිදී ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය  පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කළ යුතු බවයි. ගෲන්වල්ට්  ප්‍රකාශනය විසින් නිකුත් කළ මාධ්‍ය අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවය පිළිබඳ පාඨයෙන් සනාථ වන්නේ එවකට සමාජය තුළ  පුද්ගලයින්ට සුවිශාල බලපෑමක් කිරීමට ජනමාධ්‍ය හේතු වූ බවයි. එබැවින් ඒ සමාජ සන්දර්භය මත පාදක වෙමින් ගෲන්වල්ට් ප්‍රකාශනය  සන්නිවේදනය හා මාධ්‍යයක් අධ්‍යයනය  විශය අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පළමු වරට පෙන්වා දුනි. යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් බිහිවන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පසුකාලීනව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. ඒ අනුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අධ්‍යනය කිරීම මෙම ලිපියේ අරමුණයි. 

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් යුගයෙන් ආරම්භව රාජාණ්ඩු සමය සහ බටහිර ජාතීන්ගේ කාලය වන විට ඉතා දියුණු වර්ධනයක් අත්පත් කරගෙන පැවතුණි. සෙල්ලිපි රචනා කිරීම, පුස්කොළ පොත් ලිවීම, සංදේශ කාව්‍ය රචනය, ගද්‍ය සහ පද්‍ය ග්‍රන්ථ රචනය, පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලිය ආරම්භ වීම, රූපවාහිනිය ආරම්භ වීම සහ සිනමාව ආරම්භ වීම ශ්‍රී ලාංකීය සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂීය සන්ධිස්ථාන වෙයි. 

සන්නිවේදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වූ නමුත් එය විෂයක් වශයෙන් න්‍යායාත්මක ආකාරයෙන් ස්ථාපිත වන්නේ ඊට බොහෝ කාලයකට පසුවය. සන්නිවේදන අධ්‍යනයේ අවශ්‍යතාවය පළමුවරට පෙන්වා දුන් පුද්ගලයා බවට පත් වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. පුවත්පත් කලාවේදී සහ පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරීත්වය අරභයා සිදුකළ කතාවක් තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එසේම ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වාදීමට මුල් වූයේ ද එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය.

අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සහ විධිමත් ආකාරයට සන්නිවේදන විෂය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ වන්නේ 1968ත් 1969 අතර කාලවකවානුවේදීය. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මූලික වීමෙනි. පුවත්පත් කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ ආචාර්යය එඩ්වින් ආරියදාස මහතා විසින් පුවත්පත් කලාවේදය නමින් එම පාඨමාලාව ආරම්භ කරන ලදී. එසේම පුවත්පත් කලාවේදය පාඨමාලාව සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සකස් කරමින් එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට  මූලිකත්වය ගන්නා ලදී. එවකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මෙම පාඨමාලාව සඳහා මූලික නායකත්වය ලබාදෙමින් ආරියදාස මහතාට සහයෝගය දක්වා ඇත. නමුත් දෙහිවල කණිෂ්ඨ  විශ්වවිද්‍යාලයේ ආරම්භ වන පුවත්පත් කලාවේදය පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත. 

එසේම 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව යනුවෙන්  ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර වසරකින් පමණ පසු එම පුවත්පත් පාඨමාලාව ද අසාර්ථක වී ඇත. එය අනුව පෙනී යන්නේ මුල් කාලයේදී සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් ආරම්භ කළ පාඨමාලාවන් අතරමග නතරවීමට විවිධ හේතූන් බලපා ඇති බවයි. 1960 සහ 1970 දශකවලදී ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල උද්ගත වූ අර්බුදමය තත්ත්වය  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ සමාජය තුළ ද මතු විය. එහි බලපෑම මත 1971 කැරැල්ල දේශීය වශයෙන් සිදු වූ ප්‍රධාන ප්‍රබල වෙනසකි. 1972 කැරැල්ල සිදුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ නැවත හැරී බැලීමකට රාජ්‍ය පාලනයට අවස්ථාව උදාවිය. 1971 කැරැල්ල තුළින් සමාජ දරිද්‍රතාව, තරුණ විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ආදී සමාජ ප්‍රශ්න මතුවිය. එබැවින් එම සමාජ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට රජය විසින් ඔස්මන්ඩ් ජයරත්න කමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංශෝධන හා වෙනස්කම් සිදුවිය යුතු බවයි. 1971 කැරැල්ලේ බලපෑම සහ ඔස්මන්ඩ්  ජයරත්න කමිටුවේ යෝජනා මත පදනම් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවල පවතින සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට නවාකාරයකින් වෘත්තියා අභිමුඛ පාටමාලා කිරීමට කටයුතු කරන්නේ අනතුරුවය. නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් විශ්ව විද්‍යාල පාඨමාලා සකස් කරමින් ලෝකයට අවශ්‍ය වන වෘත්තීයවේදීන් බිහි කිරීමට මෙම ඔස්මන්ඩ් ජයරත්න  කමිටුව මුල්විය. 

1971 කරලින් පසු විශ්වවිද්‍යාල  පද්ධතිය සඳහා නව විෂය පථයන් හඳුන්වා දීමේදී සන්නිවේදන විෂය ද විශ්වවිද්‍යාල  පද්ධතියට හඳුන්වා දී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද කමිටුවේ මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර  වැනි පුද්ගලයින් සාමාජිකයින් බවට පත්විය. ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ යනුවෙන් නව අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. ඒ තුළින් ජන සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා ලබාදීම සිදුවිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යාංශයේ සන්නිවේදන විෂය සදහා මුල් කාලයේ අභ්‍යන්තර කථිකාචාර්‍යවරුන් දෙදෙනකු විය.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ මහාචාර්ය විමල් දිසානායකයන් ඔවුන් වේ. තවද බාහිර කතිකාචාර්‍යවරයන් වශයෙන් මහගමසේකර, අමරදේව ඩී.සී. රණතුංග, ඩී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක, එඩ්වින් ආරියදාස, පියසිරි ගුණරත්න, පියසෝම මේදිස් යන අය වෙති.

ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් 2006 වසරේ දී 10 වසරට ද,  2007 දී 11 වසරට සහ 2008 වසරේ දී උසස් පෙළ සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හදුන්වා දී ඇත.

Saturday, 15 November 2025

සන්නිවේදනයේ වැදගත්කම

 


මිනිස් සමාජයේ පැවැත්මට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය මූලික කුසලතාවක් ලෙස සන්නිවේදනය හැඳින්විය හැකිය. සරලවම, සන්නිවේදනය යනු තොරතුරු, අදහස්, හැඟීම් සහ සංඥා යම් මාර්ගයක් ඔස්සේ හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියයි. මෙය වාචිකව, ලිඛිතව හෝ වාචික නොවන ශරීර භාෂාව ඔස්සේ සිදුවිය හැකිය. ගල් යුගයේ ගුහා චිත්‍රවල සිට අද දින අති නවීන ඩිජිටල් තාක්ෂණය දක්වා, සන්නිවේදනය සෑම යුගයකම මිනිස් ජීවිතයේ මූලිකම පදනම වී ඇත. එබැවින්, පුද්ගල, වෘත්තීය සහ සමාජීය වශයෙන් සන්නිවේදනයේ වැදගත්කම විමසා බැලීම වටී.

පුද්ගලික ජීවිතයේදී සන්නිවේදනයේ වැදගත්කම

සන්නිවේදනය පුද්ගලයන් අතර බැඳීම් ශක්තිමත් කරන පාලම බඳුය. පවුල් සබඳතා, ආදර සබඳතා සහ මිත්‍ර සබඳතා යන සියල්ලේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඵලදායී සන්නිවේදනය මත ය. පුද්ගලයෙකුට තම සතුට, දුක, බලාපොරොත්තු සහ අවශ්‍යතා නිවැරදිව ප්‍රකාශ කිරීමට හැකි වීමෙන් අන්‍යයන් ඔවුන්ව තේරුම් ගනී. ඒ හා සමානව, අන්‍යයන්ට සවන් දීමට හා ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමට ඇති හැකියාව මගින් අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගේ. විවෘත සන්නිවේදනය මගින් වැරදි වැටහීම් අවම වන අතර, ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගැනීමට අවස්ථාව ලැබේ.

වෘත්තීය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත්කම

අධ්‍යාපන සහ වෘත්තීය ක්ෂේත්‍රවල සාර්ථකත්වය සඳහා සන්නිවේදන කුසලතා අත්‍යවශ්‍ය වේ. රැකියා ස්ථානයක, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව රඳා පවතින්නේ පැහැදිලි උපදෙස්, ප්‍රතිපෝෂණ හුවමාරුව සහ කණ්ඩායම් සාමාජිකයන් අතර සුමට සම්බන්ධීකරණය මතය. නායකත්වයේ මූලික ලක්ෂණයක් ලෙස ඵලදායී සන්නිවේදනය සැලකේ. නායකයෙකුට තම දැක්ම සේවකයන් වෙත පැහැදිලිව සන්නිවේදනය කිරීමෙන් ඔවුන්ව පෙළඹවිය හැකි අතර, පොදු ඉලක්කයක් කරා යොමු කළ හැකිය. මීට අමතරව, ගනුදෙනුකරුවන් සමඟ සාර්ථකව කටයුතු කිරීම, වාර්තා ලිවීම, ඉදිරිපත් කිරීම් පැවැත්වීම සහ සම්මුඛ සාකච්ඡා ජයගැනීම සඳහා ශක්තිමත් සන්නිවේදන හැකියාවක් අනිවාර්ය වේ.

සමාජයීය සහ දේශපාලන වැදගත්කම

සමස්ත සමාජය දෙස බලන විට, සන්නිවේදනය යනු සමාජ බැඳීම්වලට බලපාන ප්‍රබල මෙවලමකි. මාධ්‍ය සහ ඩිජිටල් සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතාව දැනුවත් කිරීම, දැනුම ව්‍යාප්ත කිරීම සහ මතවාද ගොඩනැගීම සිදුවේ. දේශපාලන ක්‍රියාවලියේදී, නායකයින් සහ රජයන් තම ප්‍රතිපත්ති සහ තීරණ ජනතාව වෙත සන්නිවේදනය කළ යුතු අතර, ජනතාවගේ අදහස් හා අවශ්‍යතා රජයට දැනුම් දීමට සන්නිවේදනය උපකාරී වේ. විවිධ සංස්කෘතීන් සහ ජාතීන් අතර අවබෝධය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සන්නිවේදනය ඉතා වැදගත් වන අතර, එමගින් ගෝලීය සහයෝගීතාව සහ සාමය පවත්වා ගැනීමට හැකියාව ලැබේ.

ඵලදායී සන්නිවේදනයේ අංග

සන්නිවේදනය යනු කතා කිරීම හෝ ලිවීම පමණක් නොවේ. ඵලදායී සන්නිවේදනයක් සඳහා පහත අංග වැදගත් වේ:

1. සක්‍රීයව සවන් දීම (Active Listening): අන්‍යයා පවසන දේ නිවැරදිව අවබෝධ කර ගැනීමට උනන්දුවෙන් යුතුව සවන් දීම.

2. පැහැදිලිකම සහ නිරවද්‍යතාවය: ව්‍යාකූලතාවයකින් තොරව පණිවිඩය සරලව හා නිවැරදිව ඉදිරිපත් කිරීම.

3. ශරීර භාෂාව: වාචික නොවන සන්නිවේදනය (අත් අභිනයන්, ඇස් ස්පර්ශය, ඉරියව්) පණිවිඩයට අනුකූල වීම.

4. ප්‍රතිපෝෂණය (Feedback): පණිවිඩය නිවැරදිව ග්‍රහණය කර ගත් බව තහවුරු කර ගැනීම.

 සන්නිවේදනය යනු මිනිස් අන්තර්ක්‍රියාවේ හරයයි. එය පුද්ගලයන් එකට බැඳ තබන, දැනුම ව්‍යාප්ත කරන, ගැටළු නිරාකරණය කරන සහ සමාජ දියුණුවට මග පාදන ජීව රුධිරයයි. නූතන ලෝකයේ තාක්ෂණයේ දියුණුව සමඟ සන්නිවේදන මාර්ග පුළුල් වී තිබුණද, පණිවිඩය නිවැරදිව, පැහැදිලිව සහ අනුකම්පාවෙන් යුතුව ඉදිරිපත් කිරීමේ මූලික වැදගත්කම කිසිදා වෙනස් නොවේ. එබැවින්, වඩාත් සාර්ථක, සෞඛ්‍ය සම්පන්න සහ සමගි සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා ඵලදායී සන්නිවේදන කුසලතා දියුණු කර ගැනීම අතිශයින්ම වැදගත් වේ.

Friday, 14 November 2025

අන්තර්වතී පුද්ගල සන්නිවේදනය

 


සමස්ත සන්නිවේදනයේ මූලාරම්භය අන්තර්වතී පුද්ගල සන්නිවේදනයයි. සෑම පුද්ගලයකු ම තම මනස හා සම්බන්ධ  වෙමින් සිදු කරනු ලබන සන්නිවේදනය මෙයට අයත් ය. අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස, කන, නාසය, දිව, සම යන  ඉන්ද්‍රියයනට දැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී සිදු වේ.

■ පුද්ගල මනෝභාවයන්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමන් විසින් ම තමන් තුළ  විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ. තමන් තු ළ ම සිදු වන සන්නිවේදනය නිසා ස්වයං සන්නිවේදනය ලෙසත් එක්  පුද්ගලයකු තුළ පමණක් සිදු වන නිසා ඒකපුද්ගල සන්නිවේදනය ලෙසත් හැඳින්වේ.

■ විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු රැස් කිරීම, ඒවා මතකයේ තැන්පත් කර ගැනීම,  නිවැරදි ලෙස ග්‍රහණය කර ගැනීම ආදිය සිදු වන්නේ අන්තර්වර්ත ීපුද්ගල සන්නිවේදනය පදනම් කර ගනිමිනි. මෙහි දී  පුද්ගලයාට ස්වයං සංවාදවල යෙදීමටත් ඒ අනුව තීරණ ගැනීමටත් සිදු වේ.  එය ස්ව සංකල්ප  (Self Concept) නම්  වේ.

මෙය පුද්ගලයා තුළම සිදුවන සන්නිවේදන ක්‍රියාවලියකි. මෙම සන්නිවේදන වර්ගය තුල තීරණ ගැනීමට ප්‍රමුඛත්වයක් හිමිවේ. සෑම තැනැත්තෙකුම කුඩාකළ සිට පන්චෙන්ද්‍රියෙන් තොරතුරු එක් රැස් කර ගනී. එම තොරතුරු වලින් බොහොමයක් ඔහුගේ යටි සිතේ තැන්පත් වේ. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තීරණ ගැනීමේදී එලෙස තමා රැස් කල තොරතුරු පුද්ගලයා යොදා ගනී. ඉතා හොද තොරතුරු රැස් කරගෙන ඇති පුද්ගලයෙකු වඩා ගුණාත්මක තීරණ ගැනීම කරයි. ඇතම් චිත්තවේග නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයෙකුට තම චිත්තවේග පාලනය කරගැනීමට ඇති හැකියාව මෙම සන්නිවේදනයේ ගුණාත්මක බව ඉහල නංවයි.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ 

1. තම සිත අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබීම 

2. සිත හෙවත් මනස ප්‍රමුඛ ව සිදු වීම 

3. පුද්ගල මතකය හා සම්බන්ධ වීම 

4. සංජානනයන් අර්ථකථනය කර ගැනීමට හැකි වීම 

5. පංච ඉන්ද්‍රියයන්ට දැනෙන උත්තේජන මත ප්‍රතිචාර දැක්වීම 

6. තීරණ ගැනීමට ඉවහල් වීම 

7. ස්ව සංකල්ප පෝෂණය

8. ආත්ම භාෂණ ක්‍රියාවලියක් වීම 

9. ප්‍රතිචාර/ප්‍රතිපෝෂණයන් නිරායාසයෙන් සිදු වීම

10. බාහිර ව නිශ්චිත ව නිරීක්ෂණය කළ නොහැකි වුවත් චර්යා හා ඉරියවු අනුව ඇතැම් අවස්ථාවලදී තීරණ ගත හැකි  වීම

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන:

1. පෞරුෂ වර්ධනයට 

පුද්ගලයකුගේ බාහිර පෞරුෂයට වඩා මනසෙහි ඇති ශක්තිමත් භාවය පෞරුෂ වර්ධනයට උපකාරී වෙයි .මානසික ශක්තිමත් භාවය  වර්ධනය කර ගැනීම සඳහා පුද්ගලයෙකුට පුද්ගලයකුට යහපත් අන්තර් අන්තර්වර්ති සංනිවේදනයක් අත්‍යවශ්‍ය වේ.  කරුණු නිසි ලෙස තෝරා බේරා ගැනීම, නිසි කලට වේලාවට තීරණ ගැනීම යහපත් පෞරුෂත්වක  ලක්ෂණ වේ. මේ නිසා අන්තර්වර්ති සන්නිවේදනය යහපත්ව සිදුවීම පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනය කෙරෙහි බෙහෙවින් බලපායි.

2. ස්ව සංකල්ප පෝෂණයට 

පුද්ගලයෙකුගේ ස්ව සංකල්පය යනුවෙන් අදහස් කරන්නේ බාහිර සමාජය තමන් වෙත දක්වන ප්‍රතිචාර මත තමන් පිළිබඳව ඇතිවන හැඟීමයි .මෙම ස්වසංකල්පය සිදුවන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මඟිනි .යම් පුද්ගලයෙකුගේ හැකියාව මත, බාහිර ස්වරූපය මත හා  සමාජ පිලිගැනීම මත ස්ව සංකල්පය බිහි වේ. මෙලෙස මොන යම් ආකාරයකින් ස්ව සංකල්පය ගොඩ නැගුණ ද එය පෝෂණය වන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය තුළ ය .මේ නිසා ස්ව සංකල්ප පෝෂණය අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ  ප්‍රයෝජනයක් ලෙස විය හැකිය

3. චින්තනය ගොඩ නංවා ගැනීමට 

සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙකුට ම පාහේ තමාටම අනන්‍ය වූ ස්වාධීන චින්තනයක් තිබේ. මෙම චින්තනය ගොඩනැඟෙන්නේ පුද්ගල මනස තුළ ය.  එදිනෙදා සමාජයේ අප ලබාගන්නා තොරතුරු ඇසුරින් පුද්ගලයා සිය චින්තනය සකසා ගනී .මෙය සම්පූර්ණයෙන්ම සිදුවන්නේය අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මඟිනි .මේ නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ  ප්‍රයෝජනයක් ලෙස සිත්තම ගොඩනඟාගැනීමට උපකාරී වීම දැක්විය හැකිය .

4.මතක තබා ගැනීමට 

 අන්තර්වර්ති පුද්ගල සන්නිවේදන තවත් ප්‍රයෝජනයක් ලෙස මෙම මතක තබා ගැනීම දැක්විය හැකිය. ඇස ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන්ගෙන් අප ලබාගන්නා තොරතුරු මතක තබා තබා ගන්නේ  අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මඟිනි.මෙහිදී  මතක තබා ගැනීමට අවශ්‍ය තොරතුරු වෙන් කර ගැනීම අනවශ්‍ය තොරතුරු ඉවත් කිරීම යනාදිය අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මඟින් ස්වයංක්‍රියව සිදු වේ

5. තීරණ ගැනීමට 

පුද්ගලයෙකුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සෘජුවම බලපාන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යි .බොහෝවිට පංච ඉන්ද්‍රියන්ගෙන් අප වෙත ලැබෙන තොරතුරු අනුව අපගේ මනස තුළ තැන්පත්ව ඇති තොරතුරු ගලපමින් අප විසින් තීරණ ගැනීම සිදු කරයි .මෙයට මූලික වන්නේය අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යි .අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යහපත් අවස්ථාවල මෙවර දි තීරණ ගැනීමට නිවැරදි ලෙස තීරණ ගැනීමට හැකි වන අතර අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය අයහපත් අවස්ථාවල ගන්නා තීරණ සාර්ථක නොවීමට ද ඉඩ තිබේ .

6. විචාරශීලීත්වය වර්දනය කර ගැනීමට

පුද්ගලයෙකුගේ විචාරශීලීත්වය කෙරෙහි සෘජුවම බලපාන්නේ ඔහු සතුව පවතින දැනුමයි.  යම් කරුණක් සම්බන්ධයෙන් විචාරශීලීව විමසා බැලීමට පුද්ගලයෙකු මෙම දැනුම යොදා ගනී. අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යහපත් ආකාරයට ක්‍රියාත්මක වන්නේ නම් පුද්ගලයෙකුගේ විචාරශීලීත්වය වර්ධනය වේ. මේ නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය ප්‍රයෝජනයක් ලෙස විචාරශීලීත්වය වර්ධනය කරගැනීම දැක්විය හැකිය.

7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට 

පුද්ගලයෙකුගේ නිර්මාණශීලිත්වය බිහිවන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මඟිනි .ඕනෑම කලා නිර්මාණයක් මූලික වශයෙන් නිර්මාණය වන්නේ නිර්මාණකරුගේ මනස තුළය මෙහිදී සිදුවන්නේ  අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයකි. නිර්මාණකරු සිය මනස සමග සංවාද කොට තම නිර්මාණයට අවශ්‍ය ප්‍රස්තුතය ගොඩනඟා ගනියි මේ නිසා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය ප්‍රයෝජනයක් ලෙස නිර්මාණශීලීත්වය ඔප්නංවා ගැනීමට හැකිවීම දැක්විය හැකිය.

විල්බර් ශ්‍රාම්

  


මානව සන්නිවේදනය මිනිසා මෙලොව බිහි වීමට මොහොතකට පෙර ආරම්භ වූවා යැයි ප්‍රකට මතයකි. මානව සන්නිවේදය මානවයාගේ ආරම්භ තෙක් දිවයන ක්‍රියාවලියක් බව එයින් පසක් වන්නේ ය. එනමුත් මානව සන්නිවේදනය තරම් දිගු ඉතිහාසයක් සන්නිවේදන අධ්‍යයනය විෂයට හිමි නොවේ. සන්නිවේදන අධ්‍යයනය විෂය ශාස්ත්‍රීය විෂය ශික්ෂණයක් බවට පත් වන්නේ මෑත කාලයේ එනම්, 20 වෙනි සියවසේ මුල් භාගයේ දී ය. එහිලා බොහෝ සන්නිවේදන ප්‍රාමාණිකයන්ගේ දායකත්වය හිමි වූයේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ය. වර්ෂ 1907 අගෝස්තු මස 05 වන දා ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මැරියටාහි දී ශ්‍රාම්ස්බර්ග් පරපුරට අයත් ව විල්බර් ශ්‍රාම් උපත ලබන්නේ ය. කුඩා කල දී ශ්‍රාම්ගේ උගුරේ වූ සෙම් ගෙඩි ඉවත් කිරීමේ සැත්කමක් වැරදි ආකාරයට සිදු කිරීම නිසා ඔහු වචන කතා කිරීමේ දුබලතාවකින් පෙළුෑණි. පවුලේ එක ම පිරිමි දරුවා ශ්‍රාම් දේශපාලනය සහ නීතිය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෙක් වීම ශ්‍රාම්ගේ පියාගේ සිහිනය විය. නමුත් ශ්‍රාම්ගේ කථන දුර්වලතාව නිසා පියා විසින් සිය සිහිනය අමතක කර දමන ලදි. කිනම් දුර්වලතා මධ්‍යයේ වුව ද ශ්‍රාම් තමන්ගේ පළමු උපාධිය 1928 දී ලබා ගන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ ව වැඩි ම ලකුණු වාර්තා කරමිනි.

කථන චිකිස්තන ක්‍රමවේදයන් හරහා තමන්ගේ කථන දෝෂය තරමක් දුරට අවම කර ගැනීමට ශ්‍රාම් සමත් වූ අතර සන්නිවේදන විෂයට ප්‍රවිශ්ට වන විට ද එම කථන දුර්වලතාව පැවති බව දැක්වෙයි. කථන දුර්වලතාව කෙසේ වුව ද ශ්‍රාම් තමන්ගේ වෘත්තිය වශයෙන් තෝරා ගන්නේ ගුරු වෘත්තියයි. කථනයේ දුර්වලතාවක් ශ්‍රාම් තුළ පැවතීම හේතුවෙන් ශ්‍රාම් විසින් බොහෝ විට තමන්ගේ සන්නිවේදන කාර්ය සිදු කිරීමට යොදා ගත් සන්නිවේදන ස්වරූපය වන්නේ ලිඛිත සන්නිවේදනය යි. විවිධ ආකාරයේ ලේඛන කාර්යන්හි නිරත වෙමින් ශ්‍රාම් පුවත්පත් කලාව තුළ තමන්ගේ නාමය ස්ථාපනය කිරීමට සමත් විය. 

විල්බර් ශ්‍රාම්ගේ විශ්වවිද්‍යාල දිවිය පිළිබඳ ව අධ්‍යයනය කරන විට ප්‍රධාන විශ්වවිද්‍යාල ත්‍රිත්වයක් තුළ ඔහු දක්වන ලද ප්‍රතිභාව කැපී පෙනෙයි. ඒ ඇමරිකානු විශ්වවිද්‍යාල වන අයෝවා සරසවිය, ඉලිනෝයිස් සරසවිය සහ ස්ටැන්ෆර්ඩ් සරසරවිය යි. එසේම සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ අග්‍රගණයේ පර්යේෂණ රැසක් ක්‍රියාවට නැංවී සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්‍රය පෝෂණය වූයේ මෙම විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන ය. අයෝවා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ සහකාර මහාචාර්යවරයෙකු වශයෙන් ශ්‍රාම් සේවයට බැඳුණේ අයෝවා විශ්වවිද්‍යාලයෙන් ම තමන්ගේ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරු ව ය. 1943 සිට 1947 දක්වා කාලය තුළ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ සේවය කිරීමෙන් අනතුරු ව ශ්‍රාම් අයෝවාවට සමු දී ඉලිනෝයිස් විශ්වවිද්‍යාලය ලබා ගමන් කරයි. ඒ අයෝවා සරසවියේ දී ඔහු තුළ හටගත් බීජය ඉලිනෝයිස් සරසවි බිමේ රෝපණය කිරීමට අවශ්‍ය පස නිර්මාණය වී තිබූ බැවිනි. එනම්, අයෝවා සරසවියේ සිටින සමයේ දී සන්නිවේදන අධ්‍යයනය වෙනුවෙන් වෙන ම අංශයක් බිහි කිරීමට අදාළ සැලසුම විශ්වවිද්‍යාල පරිපාලනයට ලබා දුන්න ද එහි මූල්‍යමය වටිනාකම ඉහළ වූ බැවින් අයෝවා සරසවිය තුළ දී ශ්‍රාම්ට තමන්ගේ සිහිනය සැබෑවක් කර ගැනීමට නොහැකි විය. ඒ අනුව ජෝර්ජ් ස්ටොඩාර්ඩ්ගේ ආරාධනය මත ඉලිනෝයිස් විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන ශ්‍රාම් සන්නිවේදනය වෙනුවෙන් වෙන ම අධ්‍යයනය අංශයක් ආරම්භ කරන ලදි. පසුව ඉලිනෝයිස් විශ්වවිද්‍යාලයේ බොහෝ ශාස්ත්‍රීය පර්යේෂණ ගණනාවක් සිදු කිරීමෙන් අනතුරු ව සිය අවසාන සරසවි අත්දැකීම වූ ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙත ශ්‍රාම් පැමිණෙයි. 1973 දී ශ්‍රාම් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සමුගන්නේ එම විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආයතනය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් සපයමිනි.

ශ්‍රාම්ගේ පර්යේෂණ ග්‍රන්ථ අතුරින් ළමයින් සඳහා සිදු කරන Television in the Lives of our Childern  පර්යේෂණ ග්‍රන්ථය මගින් රූපවාහිනි ළමයින්ට කුමක් කරන්නේ ද? යන්නට වඩා ළමයින් රූපවාහිනි සමඟ කුමක් කරන්නේ ද? යන පැනයට පර්යේෂණාත්මක ව පිළිතුරු සපයා ඇත. සන්නිවේදන අධ්‍යයනයේ සාර්වරයා වශයෙන් හැඳින්වෙන විල්බර් ශ්‍රාම් නිරන්තරයෙන් ම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වූ සුබුද්ධිමතෙක් විය.(1907.08.05 -  1987.12.27)

හැරල් ඩි ලැස්වෙල්

 


හැරල් ඩි ලැස්වෙල් දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍රයකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කළ විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිළිබඳවම  විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිළිබඳ  ලියවුණු පොත පත ද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධිය ද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්ත ද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කළේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍රයෙකු ලෙස කටයුතු නොකළ ද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එළඹුම තුළ වර්තමානයෙහි සන්නිවේදනය ලෙස පිළිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එළඹුමක්  ඒ තුළ පවතී.ලැස්වෙල් අධ්‍යයනය කළ විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශපාලන භූමිකා හා ජනමාධ්‍ය පිළිබඳ  අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.

එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදී ද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතු ද සිදු කරන ලදි. මනෝ විග්‍රහය පිළිබඳ පුළුල්  ලෙස පර්යේෂණ ද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමඟ  මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිණි.හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යාඥයින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දේශපාලන විද්‍යාඥයින්ගෙන් ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අළලා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිළිබඳව  "American political science review " හි ඒ පිළිබඳව  දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනෝ විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශපාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුළ බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.

සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ධ වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පළමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්යය උපාධිය සදහා පර්යේෂණ සිදු කළ කාලවකවානුවේදීය. එහිදී ඔහු පළමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිළිබඳව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ  සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිළිබඳ සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේ දී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේෂණ  මාර්ගයයි.

ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේ දී එහි ප්‍රචාරණය හා මහජන මතය පිළිබඳ පාඨමාලා ඇතුළුව පාඨමාලා ‍රැසක් ආරම්භ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුව ද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමඟ ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේ ද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුළ ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිළිබඳ ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.

•          කවුරුන් විසින්?

•          කා හට?

•          කවර නාලිකාවකින්?

•          කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි

තවද මෙම සම්මන්ත්‍රණය තුළින් සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කළ කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්යයභාරයක් සිදු වූ බව සඳහන් කළ යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කළ පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට "සන්නිවේදනය" යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සඳහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.

1.      පරිසර ආවේක්ෂණය 

2.      පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම

3.      එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම

දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. ‍රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිළිබඳ අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කළ අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේෂණය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයට ද හේතු විය.

ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිළිබඳ අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම් ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත

" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබඳ මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පත්වී ආ අලුතය, ශ්‍රාම්  ලැස්වේල් සොයා ආවේ. ලැස්වේල් සමඟ දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුණනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරඹුණු  සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කළ ආකාරය ද එයින් හෙළි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිළිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.


Saturday, 8 November 2025

ගෝලීය සංස්කෘතිය


ගෝලීය සංස්කෘතිය යනු හුදු භූගෝලීය සීමා බිඳ දැමූ මානව අන්තර්ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් පමණක් නොව, එය වේගවත් තාක්ෂණය හා වෙළඳපොළ බලවේග මගින් මෙහෙයවනු ලබන විශ්වීය ජීවන රිද්මයකි. සමස්ත ලෝකයම 'විශ්ව ගම්මානයක්' බවට පත් කරමින්, මෙම සංස්කෘතික ප්‍රවාහය ලොව පුරා අදහස්, කලාව සහ ජීවන රටා මුසු කරමින් නිර්මාණශීලීත්වයේ නව මං පෙත් විවර කර ඇත.

 ඩිජිටල් විප්ලවය සහ පොදු ලෝක වේදිකාව

ගෝලීය සංස්කෘතියේ වේගය සහ ව්‍යාප්තිය තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යි. අන්තර්ජාලය, සමාජ මාධ්‍ය (YouTube, TikTok, Instagram) සහ ක්ෂණික ප්‍රවාහ සේවා (Streaming Services) මගින් ලෝකයේ ඕනෑම තැනක නිර්මාණයක් හෝ සංස්කෘතික අංගයක් ක්ෂණිකව ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබී ඇත.

නිර්මාණශීලීත්වයේ පිබිදීම: තාක්ෂණය නිසා දේශීය කලාකරුවන්ට හා නිර්මාණකරුවන්ට තම කුසලතා ලෝකයට විවෘත කිරීමට අවස්ථාව ලැබී ඇත. උදාහරණයක් ලෙස, කොරියානු K-Pop හෝ බොලිවුඩ් සිනමාව පෙර නොවු විරූ ලෙස ලෝකයේ ජනප්‍රිය වී ඇත්තේ මෙම ගෝලීය වේදිකාව නිසාය.

සංස්කෘතික මුසුව (Hybridization): ගෝලීය හා දේශීය අංග මුසු වීමෙන් නව සංස්කෘතික ප්‍රකාශන බිහි වේ. ලොව පුරා තරුණයන් තම දේශීය භාෂාවෙන් ගීත නිර්මාණය කිරීමට බටහිර පොප් සංගීතයේ රිද්ම හෝ ඇෆ්‍රිකානු බීට්ස් (African Beats) යොදා ගනී. මෙය සංස්කෘතික ග්ලෝකලයිසේෂන් (Glocalization) ලෙස හැඳින්විය හැකිය.

 ගෝලීය සංස්කෘතියේ අභියෝගාත්මක සෙවනැලි - ගෝලීය සංස්කෘතිය යනු හුදෙක් දීප්තිමත් පැත්තක් පමණක් නොව, එය තියුණු අභියෝග රැසක් ද දේශීය සමාජ වෙත එල්ල කරයි:

  සංස්කෘතික සමජාතීයකරණය (Homogenization)

බටහිර බලවත් සංස්කෘතීන්හි ආධිපත්‍යය නිසා ලොව පුරා සමාන සිරිත් විරිත්, විලාසිතා සහ සාරධර්ම ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී.

දේශීය අනන්‍යතාව ඛාදනය වීම: ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය, ගෝලීය ආහාර සන්නාම (Fast Food) වල ව්‍යාප්තිය සහ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට නිසා දේශීය භාෂා, සාම්ප්‍රදායික කෑම වර්ග සහ දේශීය කලා ශිල්ප ක්‍රම භාවිතයෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකිය.

පාරිභෝගිකවාදය (Consumerism): බහුජාතික සමාගම් විසින් නිර්මාණය කරනු ලබන ගෝලීය වෙළඳ දැන්වීම් මගින්, දේශීය සාරධර්ම වෙනුවට මිලදී ගැනීම් පදනම් වූ 'පාරිභෝගික සංස්කෘතියක්' ලොව පුරා ස්ථාපිත කරයි.

 ආර්ථික අසමතුලිතතාවය - ගෝලීය සංස්කෘතික නිෂ්පාදනයන් බොහෝ විට පාලනය වන්නේ දියුණු රටවල පිහිටි දැවැන්ත මාධ්‍ය ආයතන විසිනි. දේශීය නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර අවස්ථාවක් හිමි වුවත්, ආදායම, සම්පත් සහ වෙළඳපොළ පාලනය කිරීමේ බලය තවමත් බටහිර හෝ බලවත් ආයතන සතුව පවතී.

 නිර්මාණාත්මක ප්‍රතිචාරය: අපේ දේ ලෝකයට ගෙන යාම

මෙම අභියෝග හමුවේ, දේශීය සමාජවලට කළ හැකි හොඳම නිර්මාණාත්මක ප්‍රතිචාරය වන්නේ සංස්කෘතිය 'රැකීම' නොව 'ප්‍රතිනිර්මාණය' කිරීමයි.

1.  තාක්ෂණය දේශීය අනන්‍යතාව සඳහා යොදා ගැනීම: දේශීය කලාකරුවන් හා කර්මාන්තකරුවන් නවීන තාක්ෂණය භාවිත කරමින්, තම සම්ප්‍රදායික දැනුම හා කලා ශිල්ප ලෝකයට ඉදිරිපත් කළ යුතුය. උදාහරණ ලෙස, වීඩියෝ ක්‍රීඩා හෝ ඩිජිටල් කලාව සඳහා දේශීය පුරාවෘත්ත හා සෞන්දර්යය යොදා ගැනීම දැක්විය හැකිය.

2.  සම්මිශ්‍රණයට දිරිදීම (Embracing Hybridity): දේශීය සංගීතය, විලාසිතා හෝ ආහාර නිර්මාණය කිරීමේදී, ගෝලීය අංගවලින් ආභාසය ලබමින් නව, නැවුම් හා ගෝලීය වෙළඳපොළට ගැළපෙන නිර්මාණ බිහි කිරීම. මෙහිදී අරමුණ විය යුත්තේ "අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන" යන්නයි.

ගෝලීය සංස්කෘතිය යනු මහා සාගරයකට සමාන කළ හැකිය. එහිදී, දේශීය අනන්‍යතාවයන් නමැති දූපත් ගිලී යෑමට ඉඩ තිබේ. නමුත් ඒ වෙනුවට, අපගේ සංස්කෘතිය නමැති නෞකාවට නව තාක්ෂණය නමැති රුවල් එක් කරමින්, ගෝලීය ප්‍රවාහය ඔස්සේ අපේ අනන්‍යතාව ලොව පුරා පාවා යාමේ නිර්මාණාත්මක නිදහසක් අප සතුය. මෙම ගෝලීයකරණයේ යුගයේදී, සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීම රඳා පවතින්නේ භීතිය මත නොව, නිර්මාණශීලී ප්‍රතිචාරය මත ය.


මාධ්‍ය සංස්කෘතිය

මාධ්‍ය සංස්කෘතිය යනු නූතන සමාජයේ මූලික අංගයකි. එය මාධ්‍ය විසින් සමාජයට ගෙනෙනු ලබන වෙනස්කම්, ජීවන රටා, සිතුවිලි රටා සහ මිනිසාගේ පැවැත්මේ සමස්ත රටාව විස්තර කරයි. සරලවම, එය මාධ්‍ය සහ සංස්කෘතිය අතර පවතින අන්‍යෝන්‍ය බලපෑමයි. මුද්‍රණාලයේ සිට අන්තර්ජාලය දක්වා වූ මාධ්‍යවල විකාශනය, මානව සමාජයේ දේශපාලන, ආර්ථික හා සමාජීය ව්‍යුහයන් රැඩිකල් ලෙස වෙනස් කරමින්, අප ජීවත්වන ආකාරය පිළිබඳ නව සංස්කෘතියක් නිර්මාණය කර ඇත. මෙම රචනාව තුළින් මාධ්‍ය සංස්කෘතියේ විකාශනය, එහි සමාජ බලපෑම සහ නූතන යුගයේ එහි ඇති වැදගත්කම විශ්ලේෂණය කෙරේ.

  මාධ්‍ය සංස්කෘතියේ විකාශනය (Marshall McLuhan ගේ සංකල්පය අනුව)

මාධ්‍ය සංස්කෘතියේ විකාශනය මානව ශිෂ්ටාචාරයේ තාක්ෂණික දියුණුව සමඟ සමපාත වේ. මාධ්‍යවේදී සහ දාර්ශනික මාෂල් මැක්ලුහන් (Marshall McLuhan) ගේ "මාධ්‍යය යනු පණිවුඩයයි" ("The Medium is the Message") යන සංකල්පය අනුව, මාධ්‍ය විසින් තොරතුරු සම්ප්‍රේෂණය කරන ආකාරය, පණිවුඩයේ අන්තර්ගතයට වඩා මිනිසාගේ චින්තනය කෙරෙහි බලපායි.

මුඛ්‍ය / ශබ්ද සංස්කෘතිය (Pre-Literate Culture): මෙය ලිවීමෙන් තොර වූ මුල්ම යුගයයි. සන්නිවේදනය පදනම් වූයේ කටින් කට තොරතුරු පැතිරීම සහ ශ්‍රවණය මතය. දැනුම පරම්පරාගතව ගියේ මතක තබා ගැනීම සහ කතන්දර කීමෙනි.

මුද්‍රිත සංස්කෘතිය (Print Culture): ජොහැන්නස් ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ මේ යුගය ආරම්භ විය. තොරතුරු විශාල ලෙස ප්‍රචාරය වූ අතර, දැනුම ප්‍රභූ පැලැන්තියෙන් මිදී පොදු ජනයා අතරට ගියේය. පුද්ගලවාදය හා විචාරාත්මක චින්තනය වර්ධනය විය.

විද්‍යුත් / දෘශ්‍ය සංස්කෘතිය (Electronic/Visual Culture): විදුලිය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය (ගුවන්විදුලිය, රූපවාහිනිය) සොයා ගැනීමත් සමඟ මේ යුගය ඇරඹිණි. මැක්ලුහන් මෙය හැඳින්වූයේ "ගෝලීය ගම්මානය" (Global Village) ලෙසය. මෙහිදී, කාලය හා අවකාශය ඉක්මවා තොරතුරු ක්ෂණිකව සම්ප්‍රේෂණය වන නිසා, ලෝකය කුඩා ගම්මානයක් සේ එකිනෙකට සම්බන්ධ විය.

 සමාජ ව්‍යුහය කෙරෙහි වූ ප්‍රබල බලපෑම

මාධ්‍ය සංස්කෘතියේ බලපෑම සීමා මායිම් රහිතය. මාධ්‍ය අද වන විට සමාජයේ සිව්වැනි ආණ්ඩුව ලෙස සැලකෙන අතර, එය පොදු ජන මතය හැඩගැස්වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

 දේශපාලනික බලපෑම  - නව මාධ්‍යන්ගේ පැමිණීමත් සමඟ දේශපාලන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මාධ්‍ය විසින් මහජන අවධානය යොමු කළ යුතු ප්‍රශ්න තීරණය කරන නිසා (Agenda Setting), මැතිවරණවල ප්‍රතිඵල කෙරෙහි පවා බලපෑම් කළ හැකිය. සමාජ මාධ්‍ය හරහා සිවිල් ක්‍රියාකාරීත්වය (Civil Activism) හා විරෝධතා සංවිධානය වීම වේගවත් වී ඇති අතර, එය ඇතැම් විට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, ඇතැම් විට අසත්‍ය ප්‍රචාර (Misinformation/Disinformation) හේතුවෙන් අස්ථාවර කිරීමටත් හේතු වේ.

 ආර්ථික හා පරිභෝජන සංස්කෘතිය - මාධ්‍ය සංස්කෘතිය විසින් පරිභෝජන සංස්කෘතිය (Consumer Culture) නිර්මාණය කර ඇත. වෙළඳ දැන්වීම් මඟින් භාණ්ඩ හා සේවා සඳහා අතිශයෝක්තියෙන් යුත් වටිනාකමක් ආරෝපණය කරන අතර, එය මිනිසුන්ගේ අවශ්‍යතා නොව, ආශාවන් පදනම් කරගත් ජීවන රටාවක් අනුගමනය කිරීමට පෙළඹවීම සිදු කරයි. පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය තීරණය වන්නේ ඔහු සතු භාණ්ඩ අනුව යැයි සිතන සංස්කෘතියක් මාධ්‍ය මගින් පෝෂණය කරයි.

නවීන ජීවන රටාව හා සම්බන්ධතා - නව මාධ්‍ය (සමාජ මාධ්‍ය) නිසා සන්නිවේදනයට ඇති දුරස්ථභාවය අහෝසි වී ඇතත්, සැබෑ මිනිස් සම්බන්ධතා දුරස් වී ඇත. මාධ්‍ය විසින් පුද්ගලයන් අන්තර්ජාලය තුළ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගත් අතිශය යථාර්ථයක්(Hyper-reality) තුළ ජීවත් වීමට හුරු කරයි. ඒ අනුව, මාධ්‍ය විසින් පෝෂණය කරන ලද පරමාදර්ශී රූප (Body Image), විලාසිතා සහ චර්යා රටා නිරන්තරයෙන්ම අනුකරණය කිරීමට සමාජය පෙළඹේ.

 මාධ්‍ය සාක්ෂරතාවේ අවශ්‍යතාව

මාධ්‍ය සංස්කෘතියේ සෘණාත්මක බලපෑම් අවම කර ගැනීම සඳහා, අද වන විට මාධ්‍ය සාක්ෂරතාව (Media Literacy) අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. මාධ්‍ය සාක්ෂරතාව යනු, මාධ්‍ය සංදේශයන් විවේචනාත්මකව විශ්ලේෂණය කිරීමට, ඇගයීමට සහ නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. මෙම හැකියාව තුළින්, පුද්ගලයාට මාධ්‍ය විසින් හුවා දක්වන දේශපාලන න්‍යායපත්‍ර, වාණිජමය අරමුණු සහ දෘෂ්ටිවාදයන් හඳුනා ගැනීමට හැකි වේ.

මාධ්‍ය සංස්කෘතිය යනු තාක්ෂණයේ වේගවත් ඉදිරි ගමනත් සමඟ නිරන්තරයෙන් වෙනස් වන සංකීර්ණ සංසිද්ධියකි. එයට මිනිස් සංහතියට අතිමහත් ප්‍රතිලාභ (තොරතුරු, දැනුම සහ වේගවත් සන්නිවේදනය) සලසන අතරම, සමාජ සංස්කෘතිය විකෘති කිරීමේ (පරිභෝජනය, සාවද්‍ය තොරතුරු) හැකියාවද ඇත. එබැවින්, මාධ්‍ය සංස්කෘතිය තුළින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා, පුද්ගලයන් සහ සමස්ත සමාජයම වගකීමෙන් යුතුව මාධ්‍ය භාවිත කිරීමට සහ විවේචනාත්මකව තොරතුරු ඇගයීමට හුරු විය යුතුය. මෙය නූතන සමාජයේ ශක්තිමත් පුරවැසියෙකුගේ මූලික ලක්ෂණයකි.

Sunday, 2 November 2025

මාධ්‍ය සාක්ෂරතාව


 මාධ්‍ය  සාක්ෂරතාව යන ‍යෙදුම අද වන විට සුවිශේෂි වැදගත්කමකින් සාකච්ඡාවට බදුන් වන මාතෘකාවකි.එනම් අසීමිතව වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය වීමයි.ලොව දියුණු රටවල් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අවධානය ඉහළ මට්ටමක පවතිතත්, තුන් වන ලෝකයේ රටවල් වන අපේ කලාපයේ රටවල් මේ සම්බන්ධයෙන්තවමත් නිසි උනන්දුවක් දක්වා නොමැත.එහෙත් දියුණු රටවල් භුක්ති විදින සෑම මාධ්‍යයක්ම මේ රටවල් ද අඩුවක් නැතිව පරිහරණය කරනු ලබයි.

   එමෙන්ම සාක්ෂරතාව යන්න මානසික,ආකල්පමය,සමාජ විද්‍යාත්මක සංකල්පයක් පමණක් නොව එය ඓතිහාසික සංකල්පයකි.මීට දශක ගණනාවකට ඉහතදී සාක්ෂරතා සංකල්පය අප වටහා ගත්තේ මුද්‍රිත භාෂා පරිහරණයට හා අවබෝධයට ඇති හැකියාව අනුවය.නමුත් වර්තමානයේ දී එය පුළුල් වූ ද, ගැඹුරු වූ ද පරාසයක් තුළ විහිදුණු සංකල්පයක් බවට පත් වී ඇත. ඒ අනුව අධ්‍යයතනයේදී බහුලවම සාකච්ඡාවට බ‍දුන් වී ඇත්තේ මාධ්‍ය සාක්ෂරතාව යන සංකල්පයයි.මෙයට ආසන්න සංකල්ප වශයෙන් තොරතුරු සාක්ෂරතාව,විඥාපන සාක්ෂරතාව,තොරතුරු සංස්කෘතිය,මාධ්‍ය සංස්කෘතිය,සංහතික මාධ්‍ය සාක්ෂරතාව,සංහතික මාධ්‍ය සංස්කෘතිය,මාධ්‍ය අධ්‍යාපනය,තොරතුරු නිපුණතාව,මාධ්‍ය නිපුණතාව ආදී සංකල්ප ද භාවිතා වේ.නමුත් බොහෝ විද්වතුන් අතර මෙම සංකල්පය භාවිතය සම්බන්ධයෙන් ඒකමතිකභාවයක් දක්නට නොමැත.නිදසුනක් ලෙස මාධ්‍ය අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යන්න පිළිබදව පුළුල් කතිකාවතක් පවතින්නේය.

    මෙහිදී විඥාපන සාක්ෂරතාව හෝ තොරතුරු සාක්ෂරතාව හෝ යනු වඩාත් පුළුල් වු ද,ගතික වූ ද සංකල්පයක් වන අතර මාධ්‍ය සාක්ෂරතාව ඊට ඇතුළත් වන සංකල්පයක් ලෙස භාවිතා වේ.පොදුවේ ගත් කල සාක්ෂරතාව යනු මිනිසාගේ පැවැත්මට පාදක වන්නා වූ ද,ඊට බලපාන්නා වූ ද,යම් ක්ෂේත්‍රයක ස්වභාවය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබද ව පවතින විචාරාත්මක වූ ද,සංස්ලේෂණාත්මක වූ ද,නිර්මාණාත්මක වූ ද,ඇගයීම්ශීලී වූ ද අවබෝධයයි.මෙහිදී මාධ්‍ය සාක්ෂරතාව යනු මාධ්‍ය කියාවලිය තුළදී විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් කරන මාධ්‍ය පඨිත විශ්ලේෂණාත්මක වූ ද, සංස්ලේෂණාත්මක වූ ද, නිර්මාණාත්මක වූ ද,විචාරාත්මක වූ ද,අවබෝධතා ශක්‍යතාව පමණක් නොව සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය පිළිබද ව පවතින්නා වු විිචාරාත්මක සවිඥානිකතාවයයි.මාධ්‍ය පරිහරණය සවිඥානික වූ ද,සකී්‍ය වූ ද,විචාරාත්මක වූ ක්‍රියාවලියක් බවට පත් කිරීම මාධ්‍ය සාක්ෂරතාවයයි.මේ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු යථාර්තය පිළිබද ව මාධ්‍ය ගොඩ නගන ආකල්පය අවබෝධ කර ගැනීමයි.

  අද අප ජීවත් වන්නේ මාධ්‍ය සාක්ෂරතාව අන් කවරදාකටත් වඩා අවශ්‍ය යුගයකය.වර්තමානයේ සන්නිවේදන සහ මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය නිසා මිනිස් ජීවිතය තුළ තොරතුරු සන්නිවේදන මාධ්‍යයන්ගේ භූමිකාව සුවිශාල ලෙස වර්ධනය වූ අතර මානව ජීවිතයේ සියලු ක්ෂේත්‍ර එහි බලපෑමට පමණක් නොව එහි ආධිපත්‍යයට ද ලක් විය.විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදයේ වර්ධනය සමාජය තුළ යහපත්,ධනාත්මක තොරතුරු මෙන්ම අයහපත් ඍණාත්මක තොරතුරු ද පැතිර යාමට හේතු විය.ඉතා මෑතක් වන තුරුම සමාජය තුළ තොරතුරු නිෂ්පාදනයේ හුවමාරුවේ බෙදාහැරීමේ සම්ප්‍රේෂණයේ ප්‍රමුඛ ආධිපත්‍යය පවත්වා ගෙන යන ලද්දේ පුවත්පත්,සගරා,ගුවන් විදුලිය,රූපවාහිනිය වැනි ජන මාධ්‍යය විසින් බව අප කවුරුත් දන්නා කරුණකි.නමුත් අද වන විට එම තත්ත්වය වෙනස් වී ඇති අතර නූතන මාධ්‍යයේ ආධිපත්‍යය අභියෝගයට ලක් වෙමින් නව මාධ්‍යය ඔස්සේ තොරතුරු නිිෂ්පාදනය,හුවමාරුව,ව්‍යාප්තිය,බහුලීකරණය වර්ධනය වෙමින් ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය මගින් ඕනෑම තොරතුරක් ලබා ගැනීම පමණක් නොව සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය වී ඇත.වර්තමානයේ අවශ්‍ය පමණටත් වඩා තොරතුරු මිනිසා සතුව පවතින අතර මානවයා තොරතුරු මත රදා පැවැත්ම අන් කවරදාකටත් වඩා ශක්තිමත් වී ඇත.

වර්තමානයේ ජන මාධ්‍යය පුද්ගලයා වෙත තොරතුරු ඉදිරිපත් කිරීමේ මාදිලියක් වශයෙන් පමණක් නොව සමාජ කියාවලිය පාලනය කිරීමේ,නියාමනය කිරීමේ,හැසිරවීමේ යාන්තණයක් ලෙස වටහා ගැනීම සැබෑ මාධ්‍ය සාක්ෂරතාව වන්නේය.සමාජය තුළ ජන මාධ්‍යය තමා සතු වන සුවිශේෂි බලය යොදා ගනිමින් සමාජයෙහි අනෙක් සියලු දේ සිය බලයේ උපකරණ වශයෙන් භාවිතා කරමින් සමාජය මත සුවිශේෂි බලයක් හිමි කරගෙන ඇත.මාධ්‍යය සිය ආධිපත්‍යය තොරතුරු මත පවත්වා ගෙන යමින් තමන්ගේ උවමනාවන්ට හා ලැදියාවන්ට අනුකූලව තොරතුරු හැඩ ගස්වනු ලැබේ.අප සමාජයෙහි සියලු බලය යම්කිසි ආකිරයකින් තොරතුරු සමග සම්බන්ධ බව පෙන්වා දිය හැකිය.අධ්‍යතනයේ ජන මාධ්‍යය තොරතුරු කියාවලිය පාලනය කරමින් හා ඒ මත සිය ආධිපත්‍යය බලය හා බලපෑම පවත්වා ගෙන යමින් සමස්ත සමාජකරණ ක්‍රියාවලියට තීරණාත්මකව මැදිහත් වීමේ උපකරණයක් ලෙස සමාජය තුළ කටයුතු කරයි.මේ නිසා වර්තමාන මාධ්‍ය සාක්ෂරතාව වටහා ගත යුත්තේ හුදු තොරතුරු සම්ප්‍රේෂණය කරන මෙවලමක් ලෙස නොව එය සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික ක්‍රියාවලිය සමග බද්ධ වූ සමාජ බලවේගයක් ලෙසටය.

වර්තමාන සංහතික මාධ්‍ය සන්දර්භය තුළ මෙය බරපතළ අභියෝගයක් ලෙස ඉදිරිපත් වන්නේ අධ්‍යතන ජන මාධ්‍ය කියාත්මක වන සමාජ,ආර්ථික,සංස්කෘතික ක්ෂේත්‍රයෙහි ආධිපත්‍යය දරන්නා වූ බටහිර ලිබරල්වාදී වාණිජවාදී ධනේෂ්වර තරගකාරී පමණක් නොව වෙනත් පොදු සමාජ නි‍යමයන්ගේ බලපෑම නිසාය.මේ අනුව මාධ්‍ය සාක්ෂරතාව යනු අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර සමාජ අරගලයත් සමග ඉදිරිිිියට යන සමාජවබෝධය හා යථාවබෝධය පිළිබද ක්‍රියාවලියකි.මාධ්‍ය සාක්ෂරතාව හුදු මාධ්‍යය ව්‍යාකරණය තේරුම් ගැනීම පමණක් නොව සංහතික මාධ්‍ය සහ සමාජ යථාර්ථය අතර සක්‍රීය,නිර්මාණීය හා සාධනීය සම්බන්ධතාව ද අවබෝධ කර ගැනීමකි.

   වත්මන් තත්ත්වය තුළ සංහතික මාධ්‍ය සාක්ෂරතාව අන් කවරදාකටත් වඩා වැදගත් කර්තව්‍යයක් බවට පත් ව ඇත.එනම් සමකාලීන සමාජ ක්‍රියාකාරිත්වය හා සංහතික මාධ්‍ය අතර සම්බන්ධතාව නිවැරදි වූත්,යථාර්තවාදී වුත්,විද්‍යාත්මකව හා විචාරාත්මකව අවබෝධ කර ගැනීම ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අනිවාර්ය සාධකයක් බවට පත් වී ඇත.ශ්‍රී ලංකාවද ඉහත ගෙනහැර දැක්වූ මානව සමාජ පරිණාමීය ක්‍රියාවලිය තුළ ඉදිරියට පරිණාමය වීමේ ප්‍රවණතාව ප්‍රවිශ්ට වී ඇත.ඒ නිසා සංහතික මාධ්‍ය ක්‍රියාකාරිත්වය අද අප සමාජය සදහා අන් කවරදාටත් වඩා ප්‍රමුඛ වුද,වැදගත් වූද කාර්යයක් බවට පත් වී ඇත.නමුත් අප රටේ මාධ්‍ය සාක්ෂරතාව,මාධ්‍ය අධ්‍යාපනය සම්බන්ධව තවම පුළුල් හා විද්‍යාත්මක පදනමක් ගොඩ නැගි නොමැත.විශේෂයෙන් සංහතික මාධ්‍ය සාක්ෂරතාව,සංහතික මාධ්‍ය අවබෝධය සම්බන්ධව අප පසු වන්නේ ප්‍රාථමික මට්ටමක බව සදහන් කළ යුතුය.

ජන සංස්කෘතිය


ජන සංස්කෘතිය යනු යම් සමාජයක, විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියව පැවැත්වෙන ජීවන රටාවන්, විශ්වාස, චාරිත්‍ර, කලා, ක්‍රීඩා, සංගීතය, සම්ප්‍රදාය, භාෂාව හා හැසිරීම් ආදිය සමස්තයක් ලෙස හැඳින්වේ. මෙය සමාජයේ සාමාන්‍ය මට්ටමේ පුද්ගලයන් අතර වසර ගණනාවක විකාශනය වූ සාරවත් සන්ධානයකි. ජන සංස්කෘතිය යනු උසස් සමාජ මට්ටමේ "උත්ක්‍රිෂ්ට සංස්කෘතිය"ට විරුද්ධ නොවෙයි, නමුත් එය ජනතාවගේ දෛනික ජීවිතයට ගැඹුරු සම්බන්ධතාවයක් දක්වයි.

ජන සංස්කෘතිය සමාජයක ජනතාවගේ හැඳුනුම්කරණය, වටිනාකම් හා සමාජීය සබඳතා ආදිය ආකාරගත කිරීමට බලපායි. මෙය සාමාන්‍යයෙන් ජනප්‍රිය මාධ්‍ය, කලා, විනෝදාත්මක ක්‍රියාකාරකම්, සාහිත්‍යය, විලාසිතා, සංගීතය, චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, ක්‍රීඩා හා සමාජ මාධ්‍ය ආදිය හරහා ප්‍රකට වේ.

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතිය තුළ විවිධ වර්ගවල සංගීත, නර්තන, කලා හා ආහාර පිළිවෙත් ඇතුළත් වේ. බෙර නැටුම්, සදාචාරාත්මක වටිනාකම් විශේෂයෙන්ම සිංහල-දෙමල අලුත් අවුරුදු උත්සවය, ආගමික වැඩසටහන් ආදිය ජන සංස්කෘතියේ දැක්මකි. මෙවැනි සංස්කෘතික රීති පරම්පරාවෙන් පරම්පරාවට එල්ලෙමින් සමාජය තුළ ගැඹුරු මූලාවක් සෑදීමට හේතු වේ.

ජන සංස්කෘතිය තුළ දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය වැදගත් ස්ථානයක් ගන්නා අතර, එමඟින් සමාජ සබඳතා ශක්තිමත් කරනු ලැබේ. වෘත්තීය ක්‍රමවේදයන්ට වඩා, මෙය හෝරාවේ පසු හෝ නිවාඩු කාලවල ජනතාව විසින් රස විඳින ක්‍රියාකාරකම් වලට සීමා විය හැකිය. කෙටියෙන්, ජන සංස්කෘතිය යනු සමාජයක් තුළ ජනතාවගේ ජීවිතයේ අංග සෑම ක්ෂේමයකටම ඇතුළත්, ජීවමාන හා විකාශනය වන ක්ෂේත්‍රයකි.

මෙවැනි සංස්කෘතියක් තුළ නවීන තාක්ෂණය, ගෝලීය බලපෑම්, විදේශීය සංස්කෘතික බලපෑම් වැනි කරුණු මඟින් ගොඩනගන ලද සන්ධිස්ථානයක් මෙන් වේ. නමුත් එය සෑම විටම ස්ථාවර නොවී, සමාජයේ වෙනස්කම් අනුව නිර්මාණාත්මකව වෙනස්වෙමින් පවතී. එබැවින් ජන සංස්කෘතිය යනු එකම ආකෘතියක් නොව, සමාජිකයන්ගේ ව්‍යාකූල සහභාගිත්වය මත නිර්මාණය වන සජීවී සංස්කෘතික ක්ෂේත්‍රයකි.

සාම්ප්‍රදායික සංස්කෘතිය



 සාම්ප්‍රදායික සංස්කෘතිය යනු යම් ජන කණ්ඩායමක් හෝ සමාජයක වසරෙන් වසර සම්ප්‍රදායිකව අනුගමනය කරමින් පැවතෙන ජීවන රටා, විශ්වාස, ආචාර, චාරිත්‍ර, කලා, භාෂා සහ සමාජීය පද්ධති ආදී සියලු දේවල් එකට එක් කර ඇති සංකීර්ණ ක්‍රමයකි. මෙය වසර ගණනාවක් තුළ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි සදාචාරාත්මක හා සංස්කෘතික උරුමයක් ලෙස සැලකේ.

සාම්ප්‍රදායික සංස්කෘතිය යනු සමාජයක සිටින පුද්ගලයන්ගේ හැසිරීම් මෙන්ම ඔවුන්ගේ වටිනාකම්, විශ්වාස පද්ධති, ජීවන රටා, ආහාර පුරුදු, විවාහ ආචාර, දේව භක්තිය, උත්සව හා මංගල්‍ය, සහ සන්නිවේදන ක්‍රම ආදිය ආවරණය කරයි. මෙය ඒ සමාජයේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වශයෙන් හෝ අධ්‍යාපනය හරහා හෝ උගන්වනු ලබන අතර, සමාජයේ අනාගත පරපුරට එම උරුමය පවත්වාගෙන යාමට වැදගත් වේ.

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංස්කෘතිය අතිවිශිෂ්ටයි. මෙය බෞද්ධ ආගම, කෘෂිකර්මය, හස්ති විශේෂ, කලා, සංගීතය, නැටුම්, විලාසිතා, භාෂා විවිධත්වය, හා සමාජීය සම්බන්ධතා මත පදනම්ව පවතී. විශේෂයෙන්ම පුරාණ උත්සවයන් වන ඇසල පෙරහැර, නව වසර උත්සවය, කඳුරු පැන්සල පිළිබඳ චාරිත්‍ර ආදිය මෙයට උදාහරණ වේ. එමෙන්ම, ජාතික ඇඳුම් රටාවන්, පරම්පරා ගීත හා කතාන්දර, ශිල්ප කලා, හා ආගමික විශ්වාස පද්ධති ද සංස්කෘතියට සෙරින අංගයන්ය.

සාම්ප්‍රදායික සංස්කෘතිය සමාජයක ඒකාබද්ධත්වය හා සමඟිය රැදි තබා ගැනීමට උපකාරී වේ. එය පුද්ගලයන්ට තමන් සොබාදහමට, සමාජයට සහ ආගමට බැඳී සිටීමට උපකාරී වන අතර, සමාජ වටිනාකම් පවත්වා ගැනීමටද මහත් වටිනාකමක් ඇත. එමෙන්ම, සංස්කෘතිය යනු ජාතියක හැඳුනුම් ලකුණක් වන අතර, ජාතික ආත්මය බිහිවීමටද එය බලපායි.

නමුත් තාක්ෂණික පරිවර්තනයන්, ගෝලීයීකරණය, නව පරපුරේ ජීවන රටා වෙනස් වීම නිසා සාම්ප්‍රදායික සංස්කෘතියට අනෙකුත් සංස්කෘතික බලපෑම් සිදුවිය හැක. ඒවා ආකර්ෂණීය වුවද, පරම්පරා කීර්තිය හා අනන්‍යතාවය රැක ගැනීම සඳහා සාම්ප්‍රදායික සංස්කෘතිය ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය.

ඉතාම වැදගත් වන්නේ, වර්තමාන තාක්ෂණය හා නවීන වටිනාකම් සමඟ සාම්ප්‍රදායික සංස්කෘතිය ගැළපී සිටීමට හැකියාව සොයා ගැනීමයි. එසේ කළහොත්, සාම්ප්‍රදායික සංස්කෘතිය අනාගත පරපුරටත් සම්පත්භූත උරුමයක් වශයෙන් උරුම කළ හැක.

ජනප්‍රිය සංස්කෘතිය


 ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම.

ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමිනි. එසේ ම මූලික වශයෙන් ජනමාධ්‍ය අත්පත් කරගෙන සිටින්නේ  බටහිර රටවල්‍ ය.

ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ

1)සෑම සමාජ පන්තියක් ම ආකර්ෂණය කර ගනී.

2)වාණිජත්වය මත රදා පවතී.

3)ජනමාධ්‍ය මත වය්‍යාප්ත වේ.

4)කල්පවත්නා ස්වාභයක් නොමැති වීම.

5)සෑම විටම කාලීන තත්ත්වයක් මත ගොඩනැගීම.

6)මහා පරිමාණ ලෙස නිෂ්පාදන හා බෙදා හැරීමක් පැවතීම.

7)වෙළෙඳපොල අවශ්‍යතා මත බිහි කරයි.

8)නප්‍රිය සංස්කෘතිය  අතිශය සරල වේ.

9)ජනප්‍රිය සංස්කෘතිය මිනිසුන් රවටන සුලුය.

10)ජනප්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීම සදහා ග්‍රාහක අවශ්‍යතා සැලකිල්ලට භාජනය කෙරේ.

11)ජනප්‍රිය සංස්කෘතිය තුළ ඇත්තේ නිර්මාණ නොව නිෂ්පාදනයන් ය.

12)ජනප්‍රිය සංස්කෘතිය එකිනෙකට වෙනස් වේ.

සංස්කෘතියේ ඇති ඕනෑම අංගයක් ජනප්‍රිය සංස්කෘතියේ අංග බවට පත් වේ.මාධ්‍යකරුවන්ගේ අවශ්‍යතාවය මත ජනප්‍රිය සංස්කෘතියට නව අංග එක් කර ගනී. පාරිභෝගික අවශ්‍යතා මත ද මෙම අංග ජනප්‍රිය සංස්කෘතියට එකතු වී ඇත. පරිභෝජනයට අවශ්‍ය අංගෝපාංග මෙන් ම සංස්කෘතික චර්යාවන් ද සමාජ චර්යාවන් ද ආගම දහම ද ජනප්‍රිය සංස්කෘතියේ අංග බවට පත් වේ.


ජනප්‍රිය සංස්කෘතියේ අංග

ආහාර පාන

ඇදුම් පැළදුම්

යාන වාහන

සංගීතය

අදහස්

ගෘහ භාණ්ඩ

අධ්‍යාපනය

නිවාස

දේශපාලනය

ටෙලි නාට්‍ය   ආදිය මීට අයත් වේ.

මෙහිදී තිබෙන සුවිශේෂීත්වය නම් මාධ්‍ය වෙළෙඳපොල විසින් ගෘහයට රැගෙන එන ජනප්‍රිය සංස්කෘතිකාංග පාරිභෝගිකයා කැමැත්තෙන් ම භාරගෙන සමාජ ගත කරයි.

ජනප්‍රිය සංස්කෘතියේ බලපෑම

1)ජනප්‍රිය සංස්කෘතිය සමාජයේ සමස්ත සංස්කෘතික චර්යාවට මෙන් ම මානව චර්යාවට ද බලපෑම් කරයි.

2)පාරිභෝගිකයා තමාට දරා ගත නොහැකි නොගැළපෙන පාරිභෝගික රටාවන්ට යොමු වේ.

3)මිනිසා සමාජය තුළ ණයකරුවන් බවට පත් වේ.       එය මානව සමාජයේ ආර්ථිකය කෙරෙහි සෘජු   බලපෑමක් ඇති කරයි.

4)මිනිසාගේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් යටපත් වී ගොස් විල්‍යාජ අපේක්ෂාවන් ඉස්මතු වේ.

මේ අනුව ජනප්‍රිය සංස්කෘතිය යන්න සරලව වටහා ගත හැකි වේ.

සන්නිවේදන බාධක




 ඕනෑම සන්නිවේදන  ක්‍රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක වීමට පුළුවන. එහි අවසන් ප්‍රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්‍රාහකයාට පණිවිඩය නොලැබීම, පණිවිඩය ලැබුණද එය නිවරදිව වටහා ගත නොහැකි විම. පණිවිඩය වැරදි ලෙස හෝ අඩ වශයෙන් වටහා ගැනීම මෙම බාධක වලින් ඇතිවන තත්වයන්ය. කෙසේ නමුත් සන්නිවේදනයේ මුලික ස්වභාවයක් ලෙස ඕනෑම සන්නිවේදන ක්‍රම විධියකදී රටාවකදී මෙම බාධක මතු විය හැකිය. ස්වභාවික සන්නිවේදන රටා වල දී මෙන්ම කෘතිමව සකස් කරගත් සන්නිවේදන රටා වල දීද මෙම බාධක තත්වයන් මතු වේ. සන්නිවේදකයකු විසින් කළ යුත්තේ එම බාධක අවම කරගෙන සන්නිවේදනය කිරීමයි. සන්නිවේදකයාට අයහපත් ලෙස බලපාන බාධක මෙන්ම ග්‍රාහකයාට අයහපත් ලෙස බලපාන බාධක ද දක්නට ලැබේ.

සන්නිවේදනයේ දී මෙම බාධක ප්‍රමාණ වශයෙන් කොටස් 4 ක් යටතේ අධ්‍යනය කළ හැකිය. මෙම වර්ග කිරීම තව දුරටත් සිදුකළ හැකි මුත් බාධකවල මූලික ලක්ෂණ මගින් හැකි සරලම ආකාරයේ වර්ග කිරීමක් මෙහිදි දක්නට ලැබේ. එනම්,

1 අර්ථ බාධක

2 යාන්ත්‍රික බාධක

3 පාරිසරික බාධක

4 ශාරීර හෝ මානසික බාධක

අර්ථ බාධක

සන්නිවේදකයා ප්‍රකාශ කරන දෙය වැරදි ලෙස වැටහීම, මෙය භාෂාව, සංඥ, සංකේත පිළිබද ඇති නොදැනුවත්කම නිසා සිදුවිය හැකිය. මෙය ග්‍රාහකයා තේරුම් ගන්නා ආකාරය අනුව සිදු වේ. සන්නිවේදකයා සන්නිවේදනය කිරීමේ දී නිවරදි උදාහරණ පැහැදිලි කිරීම් භාවිත නොකිරිමේන් ද මෙම බාධක ඇති විය හැකිය. යම් කෙනෙකු යමක් වැරදි බව හැගීමට ‘‘ අනේ යනවා යන්න‘‘ යනුවෙන් ප්‍රකාශ කරයි. ග්‍රාහකයා මෙය වැරදි ගෙස තේරුම් ගතහොත් එතනින් ඉවත් යෑමට හැකිය. එය අර්ථ බාධකය.

යාන්ත්‍රික බාධක

සන්නිවේදනයේ මූලික යාන්ත්‍රික ක්‍රියාවලියක් ඇති අතර එය සන්නිවේදනයේ ගලා යාම තීරණය කරයි. එම එක් පියවරකදී යම් බාධාවක් ඇතිඅ වන්නේ නම් එය යාන්ත්‍රික බාධකයකි. එනම්, පණිවිඩය යවන නාලීයේ ඇතිවන බාධකයකි. එසේම සන්නිවේදන ක්‍රියාවලියේ දී යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම වර්තමානයේ  අත්‍යවශ්‍ය වන තරමට ම ප්‍රබල ප්‍රවනතාවකි. රූපවාහිණිය, ගුවන් විදුලිය, දුරකථනය, ට්‍රාන්ස්මීටරය, ස්පීකරය ආදී වූ විවිධාකාර යන්ත්‍ර ඒ අතර වේ. ඒවායෙහි ඇතිවන බාධක යාන්ත්‍රික බාධක වේ. උදා - ගුවන් විදුලියේ ස්විචයේ දෝෂ, ඒරියල් ක්‍රියාත්මක නොවීම‍.

පාරිසරික බාධක

සන්නිවේදනයේ සිදු වන පරිසරය තුළ බාධකයකි. මෙය ස්වභාවික පරිසරයේ හෝ කෘතිම පරිසරයේ වූවද සිදු විය හැකිය. අධික වර්ෂාවක් පවතින ගුවන් විදුලි හෝ රූපවාහිණි තරග ගමන්කිරිමට බාධා එවිට ග්‍රාහකයාට නියමිත සන්දේශය නොලැබී යයි. එය බාධකයකි. ඊට අමතරව යම් දෙදෙනකු අතර පවතින කතා බහක් ඒ අසල මහ හඩින් ශබ්ද නගමින් යන දුමිරියක් නිසා අඩපණ වීමට පුළුවන. එවම් එය ද බාධකයකි. මෙහි මුල් අවස්ථාව ස්වභාවික පාරිසරික බාධකයක් වන අතර දෙවන අවස්ථාව කෘතිම පරිසරය විසින් ඇති කරන ලද්දකි.

ශාරීර හෝ මානසික බාධක

මෙය සන්නිවේදකයා තුළ මෙන්ම ග්‍රාහකයා තුළ මෙන්ම ග්‍රාහකයා තුළ ද ඇති විය හැකිය. පංචේන්ද්‍රයන් හි දක්නට ලැබෙන දුර්වලතාවක් හෝ දෝෂයක් නිසා යමක් නිවැරදිව වටහා ගත නොහැකි වීම මෙහි ඇතිවන තත්වයයි. එසේම සන්නිවේදකයාට යමක් සන්නිවේදනය කිරීමට ද ඒ මගින් ම බාධා ඇතිවිය හැකිය. තම මුඛයේ ආබාධයකින් පෙළෙන සන්නිවේදකයෙකු මුවින් යමක් ප්‍රකාශ කිරීමේ දී බාධා ඇති වේ. කනෙහි ආබාධයක් ඇති විට එය ග්‍රහණය කර ගැනීම ග්‍රාහකයාට අපහසුය.

මීට අමතරව සන්නිවේදකයා හා ග්‍රාහකයා තුළ පවතින මානසික ස්වභාවය අයහපත් නම් එය ද බාධකයකි. තදබල දුකකින් සිටින අවස්ථාවක දී හෝ සතුටින් සිටින අවස්ථාවක දී යමක් පැහැදිලිව ප්‍රකාශ කිරීමට සන්නිවේදකයා අපහසුය. ග්‍රාහකයාට තේරුම් ගැනීමට ද එය බාධකයකි.

සිනමා කලාව

සිනමාව යනු විසිවන සියවසේ මානවයා අත්පත් කරගත් ප්‍රබලතම සහ සංකීර්ණතම කලා මාධ්‍යයයි. අනෙකුත් සම්ප්‍රදායික කලා මාධ්‍යයන් වන සාහිත්‍යය, නාට්‍යය, ...